
ගැටළු මැවුම්කරු : ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද?
නොදන්න ලියුම්කරු : රටක අයිතිය හැමෝටම සමානව තියෙනවා. ඒ අයිතිය නිසා සෑම තීරණයකම හැමෝගෙම කැමැත්තට සමාන වටිනාකමක් තියෙනවා. ඒ අයිතිය තහවුරු වීම, ක්‍රියාත්මක වීම සහ නියෝජනය වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
ගැ. මැ : එතකොට ඔය සමාන අයිතිය තියෙන අයගේ කැමැත්ත විසංවාදීනන්?
නො. ලි : ඒ වෙලාවට බහුතර තීරණය එක්ක යනවා.
ගැ. මැ : එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ සුළුතර මතය යටපත්වෙනවා වගේ එකක් නැද්ද?
නො. ලි : එහෙම නැතුව ප්‍රායෝගිකව දෙයක් කරන්න බෑ. රටක් විදියට ගන්න පුළුවන් එක තීරණයනන්, ජනතාව ඒකමතික නැත්තන්, කරන්න වෙන්නේ බහුතරය එක්ක ඉස්සහරට යන එක. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිත්වයට වඩා හොදයි. රාජාන්ඩුවක හරි ඒකාධිපතිත්වයක හරි වෙන්නේ එක පුද්ගලයෙක් මත තීරණය වෙන එකනේ. එතන “බහුතරයද? සුළුතරයද?” කියන සාධාරණ ඇගයීම වත් නෑ.
ගැ. මැ : එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරණ අය ඇයි සුළුතර මතයේ නියෝජනය ගැන කතා කරන්නේ? ප්‍රගතශීලී ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්ද?
නො. ලි : එහෙම අරමුණක් තියෙන්න පුළුවන්. නමුත්, ඔය මොනවා කතා කලත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වෙනස් කරන්න බෑ. අපි ගමුකෝ “ජනතා නියෝජිත ආයතන වල සුළුතර මතයේ නියෝජනය පුළුල් කරණවා” වගේ එකක්. ඒක කරන්නත් බහුතර මතයෙන් ඒ යෝජනාව සම්මත වෙන්න ඕනේ. වෙන විදියකට කියනවනන් සුළුතර මතයේ නියෝජනය පුළුල් වෙන්නෙත් බහුතර මතයේ තීරණය අනුව.
ගැ. මැ : එහෙම බහුතර මතයෙන් ස්වායක්තව ස්වයං පාලනය වෙන රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් නැද්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ?
නො. ලි : සමහරු හිතනවා අධිකරණ පද්දතිය වගේ තැන් එහෙම වෙනවා කියලා. හැබැයි ඒකත් එහෙම නෑ, මේ හැම දෙයක්ම ව්‍යවස්ථාවට ගැට ගැහිලා තියෙන නිසා. ඒ කියන්නේ අධිකරණය ක්‍රියාත්මක කරණ නීතිය මොකක්ද කියන එකත් තීරණය වෙන්නේ බහුතර මතය අනුව කියන එක.
ගැ. මැ : ඔය කියන විදියට ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ රජකාලේ දඩුවම්, ශරියා නීතිය වගේ ඒවා උනත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද?
නො. ලි : ඔව්, පුළුවන්. ඒ රටේ බහුතරය නියෝජනය කරන්නේ ඒ මතය නන් ඒ නීතිමය රාමුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට දායක වන ජනතාවගේ දේශපාලන දර්ශනයේ බහුතර මතය ආගමික නීතියනන්, ඒ තැන් වල ක්‍රියාත්මක වෙන්නේ ඒ නීතිය.
ගැ. මැ : එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ “නිරපේක්ෂ හරි-වැරැද්ද” කියලා එකක් නැද්ද?
නො. ලි : එහෙම එකක් නෑ. හරි වැරැද්ද තීරණය කරන්නේ ජනතාවගේ දර්ශනයට සාපේක්ෂව. ඒකේ ප්‍රගතිශීලීත්වය තියෙන්නේ ඒකාධිපතියාගේ දර්ශනය මතා රඳා පැවතුන එක ජනතාවගේ දර්ශනය මතා රඳා පවතින එකක් විදියට වෙනස් වෙන එකේ.
ගැ. මැ : එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදයට ජනතාව හවුල් වෙන ඡන්ද ක්‍රමය ඇතුලේ හැමෝම දර්ශනයට සාපේක්ෂවද තීරණ ගන්නේ?
නො. ලි : ඡන්ද අයිතිය භාවිතයේදී නන් මිනිස්සු එක එක හේතු වලට ඒක ප්‍රකාශ කරණවා. පෞද්ගලික වාසියටත් ඡන්දය පාවිච්චි කරණවා.
ගැ. මැ : පෞද්ගලික වාසීය දේශපාලන දර්ශනය වෙන්න බැරිද?
නො. ලි : පෞද්ගලික වාසියට තීරණ ගැනීම කියන එක දේශපාලන දර්ශනයක් වෙනවා කියන්නත් පුළුවන්, නොවෙනවා කියන්නත් පුළුවන්. ඒක දර්ශනයක් නන් ඒකට කියන්න වෙන්නේ “බඩගෝස්තරවාදය” වගේ නමක්. ඒක ඇතුලේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වීම ගැන අදහසක් නෑ හැබැයි. ඒ කියන්නේ ඒ අය තීරණයට හවුල් උනා වගේ දැනුනට ඇත්තටම වෙලා තියෙන්නේ තීරණය විකෘති කරලා තියෙන එක.
ගැ. මැ : එතකොට ඔය “වෘත්තීයවේදියෝ” කියාගන්න අය තමන්ගේ ආදායම් බදු අඩුකරගන්න තීරණයට පක්ෂව දේශපාලන තීරණය ගන්න එකත් ඔය වගේ පෞද්ගලික වාසියකට ඡන්දය භාවිතා කිරීමක්ද?
නො. ලි : ඔව්. පෞද්ගලික වාසිය කියුවම මතක් වෙන හාල් මල්ලට, රස්සාවට ඡන්දේ දෙන එක විතරක් නෙවේ. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරගන්න එකත්, සිය වෘත්තියට ආදායම් බදු සහනයක් ගන්න එකත්, තමන්ගේ ජාතියට වෙනම රාජ්‍යක් බිහිකරගන්න ඡන්දේ දෙන එකත් පුද්ගලික වාසියට ඡන්දේ දීම තමයි.
ගැ. මැ : එහෙම බැලුවම තමන්ගේ අනන්‍යතාවය මත ගන්න ඕනම තීරණයක් ඔය ගොඩට වැටෙනවද?
නො. ලි : ඔව්. අනන්‍යතාවය පාදක කරගෙන ගන්න දේශපාලන තීරණ ඔක්කොම එක ගොඩට දාන්න පුළුවන්. ඔය බටහිර රටවල් වල ඉන්න සංක්‍රමණිකයෝ “සුළු ජාතික අයීතීන්”, “Visa නීතී ලිහිල් කිරීම” වගේ ඒවා හිතාගෙන ඡන්දේ දෙන ඒවත් ඔය ගොඩේ තියෙන්නේ.
ගැ. මැ : එහෙම බැලුවම “අනන්‍යතාවය ගාවගන්නේ නැතුව ගන්න පුළුවන් දේශපාලන තීරණ” කියලා ජාතියක් තියෙනවද?
නො. ලි : එහෙම එකක් නෑ. හැබැයි අවම හානියක් වෙන්න තෝරගන්න පුළුවන් අනන්‍යතාවයක් තියෙනවා කාටත් පොදු. ඒ තමයි “රටවැසියා හෝ පුරවැසියා” කියන අනන්‍යතාවය. ඒක ඉස්සරහට දාන එක “සුළු ජාතිකයා”, “වෘත්තීයවේදියා” වගේ පටු අනන්‍යතා ඉස්සරහට දාන එකට සාපේක්ෂව දියුණු දේශපාලන සාක්ෂරතාවයක්. එතකොට අඩුම ගානේ ජාතිකවාදියෙක් කියන පොදු එකඟතාව ඇතුලේ සාපේක්ෂව දියුණු ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න පුළුවන් පුද්ගලිකත්වයෙන් පිටතට ඇවිල්ලා.
ගැ. මැ : එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ තමන්ගේ මතය නියෝජනය කරද්දි හිතන්න ඕනේ “පුරවැසිභාවය ද? අනන්‍යතාව ද?” කියන එක නේද?
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.