මනස මොළයද? මොළය මනසද?

IMG-20240414-WA0032

ගැටලු මැවුම්කරු : මනස කියන්නෙ මොළයමද? එහෙම නැතිනම් මනස කියන්නෙ මොළයේ ක්‍රියාකාරිත්වයයි කියලා කොහොමද නිගමනය කරන්නේ?

නොදන්න ලියුම්කරු : EEG Signal Processing වලින්. මොළයට ඉලෙක්ට්‍රෝඩ සවිකිරීමෙන් ලැබෙන තරංග ආකෘති අධ්‍යයනය කිරීම හරහා ලබාගන්නා රටා හදුනාගැනීමෙන්.

ගැ.මැ : රටා හඳුනගන්නවා කියන්නෙ එක එක සිතුවිල්ල (දුක, සතුට, බාහු හැසිරවීම) එක්ක මොළයේ සංඥා වල ත්‍රීවතාවය වෙනස් වෙන එකනේ ඔතනදි බලන්නේ?

නො. ලි: ඔව්, ඒ ක්‍රමයට වැටෙන දේවල් තමයි මම දන්නේ. යම් සිතුවිල්ලක් ඇතිවෙද්දි මොළයේ යම් කොටසකින් සංඥා ලැබෙන තීව්‍රතා වෙනස් වෙනවනම්, අපි තේරුම් ගන්නවා මොළයේ ඒ ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය නිසා තමයි අර අදාල සිතුවිල්ල ගොඩනැගෙන්නේ කියලා.

ගැ.මැ: ඇත්තටම තේරුම් ගන්නවද? නැතිනම් විශ්වාස කරනවද?

නො. ලි: ඒක තාර්කිකව පිළිගන්න දෙයක්. විශ්වාසයක් කියලා හිතෙන්නේ නෑ. ඒක ප්‍රත්‍යක්ෂයක් වගේ කියලා තමයි හිතෙන්නේ.

ගැ.මැ: සිතුවිල්ල එක්ක මොළයට අමතරව වෙනත් ඉන්ද්‍රියකුත් උත්තේජනය වෙලා ඒ ඉන්ද්‍රියෙන් සංඥා ලැබන රටා ටිකත් වෙනස් වුනොත් මොකද්ද ගන්න නිගමනය?

හදවතේ සියුම් රිද්මයන්ගේ වෙනසක් වගේ එකක් ගමුකෝ?

නො.ලි : ඔව්, එහෙම එකක් ලැබුනොත් මුලින් බලන්න ඕනේ මොකක්ද කලින් ක්‍රියාත්මක උනේ කියලා. උදාහරණයක් විදියට අත චලනය කරන්න අවශ්‍ය මොළයේ ක්‍රියාකාරීත්වය ඇති උනාට පස්සේ තමයි අතේ චලනයට අදාල නියුරෝන උත්තේජනය වෙන්නේ.

ගැ.මැ : : එතකොට අත හොල්ලන්න හිතපු සිතුවිල්ල පහළ උනේ මොළය ක්‍රියාත්මක වෙන්න කලින්ද පස්සෙද කියලා කොහොමද දන්නේ?

නො.ලි: ඒතන අපි මූලික උපකල්පනයක් එක්ක යන්නේ. අපි හිතනවා මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය කියලා. ඒ නිසා මොළය කලින් ක්‍රියාත්මක වෙනවා කියලා ගන්නවා.

ගැ.මැ : එතකොට ඔයගොල්ලෝ පරීක්ෂණාත්මකව පෙන්වන්න හදන්නේ “මනස මොළයේ ක්‍රියාකාරීත්වය වේ!” කියලා..

ඒකෙදි ඔයාලා මූලික උපකල්පනයක් යොදා ගන්නවා “මනස මොළයේ ක්‍රියාකාරීත්වය වේ!” කියලා..

සර්පයා තමන්ගෙම වලිගේ හපාගෙන කියලා හිතෙන්නේ නැද්ද?

නො.ලි: අපි විද්‍යාව ගොඩනගන්නේ භෞතිකවාදය අනුව. පදාර්ථ සහ ශක්තීන් තියෙනවා. නමුත් ශක්තීනුත් අවසානයේ පදාර්ථයේ ක්‍රියාකාරීත්වයේකට ඌනනය වෙනවා. අන්තිමට ද්‍රව්‍යවාදයකට තමා තල්ලු වෙන්නේ. ඒක එහෙමත් නැතුව නැති. මම දන්නේ නෑ.

ගැ.මැ : එතකොට ඔය ද්‍රව්‍යවාදය සහ භෞතිකවාදය විශ්වාසයක් නේමේද?

නො.ලි : නැහැ, ඒක දර්ශණයක්. ඒක මත විද්‍යාව වගේම වාම දේශපාලනය පවා ගොඩනැගිලා තියෙනවා. ඒක තුල තර්කනයක් වගේම තර්කන නිදහසක් තියෙනවා.

ගැ.මැ : එතකොට ප්‍රත්‍යක්ෂ්‍යයක් කියන්නේ තමන්ගේ දර්ශණයට සාපේක්ෂ සත්‍යයක් උනාට නිරපේක්ෂයට සාපේක්ෂව විශ්වාසයක් නේද?

නො.ලි: ඔව්, නිරපේක්ෂයට සාපේක්ෂව විශ්වාසයක් කියන්න පුළුවන්. එහෙම බැලුවොත් නිරපේක්ෂයට සාපේක්ෂව තියෙන්නේ විශ්වාස පමණයි. ඔබටත් දැනුම කියලා තියෙන්නේ විශ්වාස සමූහයක් විතරයි.

ඔබටත් ප්‍රත්‍යක්ෂ්‍යය කියලා දෙයක් නෑ. තියෙන්නේ දර්ශණයකට සාපේක්ෂව විශ්වාසයක්.

ගැ.මැ: ඒ විතරක් නෙවේ. ඔබ අභිමුඛව ඉන්න “ඔබට මම පවතිනවා” හෝ “ඔබෙන් තොරව ඔබට යථාර්ථයක් තියෙනවා” කියලා පවා තියෙන්නේ විශ්වාසයක්.

 

කතෘගේ අඩිය

මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.

අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.

2 thoughts on “මනස මොළයද? මොළය මනසද?”

  1. Randima Pinnaduwa

    ඉතා ආකර්ෂණීය මාතෘකාවක්.. 👍👍 දිගින් දිගට කතා කළහැකි පැතිකඩක්…

    1. Vyaakuula Editor

      ඔව්. සංවාදය තුලින් තමයි අවබෝධය තීව්‍ර වෙන්නේ. සංවාදය කියන්නේ හරියට වෙන කෙනෙක්ගේ මනසක් කුලියට ගන්නවා වගේ වැඩක්. තමන්ට තනියම හිතන්න බැරි පැති ගොඩකින් හිතපු අයගෙන් ඒ ටික අහගත්තම අන්තිමට තමන්ගේ අවබෝධය පුළුල් වෙන්නෙ අනෙකාගේ චිත්ත ශක්තිය පාවිච්චි කරගෙන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top